හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම හරහා රට තුළ මර්දනයක් සිදුවන බවට විපක්ෂය එල්ල කරන චෝදනා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළාය. පසුගිය මාස තුනක කාලය තුළ හදිසි නීතිය යටතේ සිදු වූ එක් මර්දනකාරී සිදුවීමක් හෝ පෙන්වා දෙන ලෙස ඇය එහිදී විපක්ෂයට අභියෝග කර සිටියාය.
රජය විවේචනය කිරීමට හෝ විරෝධතාවල නිරත වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට කිසිදු බාධාවක් පනවා නොමැති බවත්, සමාජ මාධ්‍ය සහ පුවත්පත් හරහා ජනපති සහ රජය දැඩි ලෙස විවේචනය කළ ද ඒවා මර්දනය කිරීමට පියවර ගෙන නොමැති බවත් ඇය ප්‍රකාශ කළාය. හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නේ පවතින ආපදා තත්ත්වයෙන් පසු මහජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමටත්, හානි වූ පාසල් සහ මාර්ග වැනි යටිතල පහසුකම් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව යළි ගොඩනැගීමට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමටත් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කාර්ය සාධක බලකායේ වාර්තාව මෙම මාසය තුළ ලැබීමට නියමිත අතර, ඉන් අනතුරුව කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලසුම් යටතේ රට යළි ගොඩනැගීමේ කටයුතු විධිමත්ව සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. දේශපාලන වාසි තකා “මර්දනය” යන වචනය භාවිතා නොකර පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිදු කරන සහන වැඩපිළිවෙළට සහාය වන ලෙස ඇය විපක්ෂයෙන් ඉල්ලා සිටියාය.














