අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (10) පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේදී පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට එක්වෙයි. ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය කාන්තා නායකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාවය පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කිරීමට නියමිත අතර කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ ෂිරින් ලතීෆ් සිහිවීම පිණිස පිරිනමන සමාරම්භක සම්මානයෙන් ද ඇය මෙහිදී පිදුම් ලබයි.
සිය පිලිපීන සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට ද සැලසුම් කර තිබේ. මෙම සාකච්ඡා හරහා ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් දෙරටටම වැදගත් වන ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත් අපේක්ෂා කෙරේ. අග්‍රාමාත්‍යවරිය ඊයේ දිනයේ මැනිලා නුවරට ළඟා වූ අවස්ථාවේදී එරට බලධාරීන් සහ තානාපති කාර්යාල නිලධාරීන් විසින් ඇයව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.














