භාෂාමය උරුමයන් සුරක්ෂිත කිරීම සංස්කෘතික වගකීමක් පමණක් නොව, එය ලෝකයේ පවතින විවිධත්වය රැකගැනීම සඳහා වූ පොදු කැපවීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය. කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී අද (13) පැවැති ‘ජාත්‍යන්තර මව් භාෂා දින’ සැමරුම් උළෙලට සහභාගී වෙමින් ඇය මේ බව පැවසුවාය.
බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ආයතන කිහිපයක සහයෝගයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේ මෙවර තේමාව වූයේ ‘විවිධ හඬවල්, පොදු මනුෂ්‍යත්වය’ යන්නයි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ පවතින බහුවිධ භාෂාමය උරුමය අගය කළ යුතු ශක්තියක් බවත්, භාෂා අයිතීන් සුරක්ෂිත කිරීම හරහා සමාජ සහජීවනය ගොඩනැගෙන බවත්ය.
වර්තමාන ඩිජිටල් ලෝකය තුළ බොහෝ භාෂා අභාවයට යාමේ අවදානමක් පවතින බැවින්, තාක්ෂණය සහ ප්‍රතිපත්ති හරහා එම භාෂා සුරැකීමට කටයුතු කළ යුතු බව ද ඇය සඳහන් කළාය. ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන ලද නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ පාසල් දරුවන්ට සහතික පත්‍ර සහ සම්මාන පිරිනැමීම ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරිණි.














