2026 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමස්ත ශ්‍රී ලාංකේය සහ ලෝකවාසී කාන්තාවන් වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ප්‍රකාශයට පත් කර ඇති “Rights. Justice. Action. For ALL Women and Girls” යන ගෝලීය තේමාව යටතේ කාන්තා අයිතිවාසිකම් සහ යුක්තිය ඉටු කිරීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කළාය.
ශ්‍රී ලාංකේය ආර්ථිකයේ සහ සමාජයේ සැබෑ ජීවය කාන්තාව බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය, රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කාන්තාව සංවර්ධනයේ සක්‍රීය හවුල්කරුවෙකු ලෙස සලකා කටයුතු කරන බව ප්‍රකාශ කළාය. ගෘහණියක් ලෙස ඇය දක්වන ආර්ථික දායකත්වය අගය කිරීම, කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම සහ අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය පහසුකම් පුළුල් කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව ඇය සඳහන් කරයි.
එමෙන්ම පොදු ප්‍රවාහනයේදී, සේවා ස්ථානයේදී සහ පවුල තුළ කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කිරීමටත්, තීරණ ගන්නා ආයතන තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමටත් රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය. කාන්තාවන්ගේ පෝෂණය, ප්‍රජනන සෞඛ්‍යය සහ මානසික සුවතාවය ඉහළ නැංවීම සඳහා විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කර ඇත.
කාන්තාව යනු අනුකම්පාව බලාපොරොත්තු වන පිරිසක් නොව බුද්ධියෙන් සහ නිර්මාණශීලිත්වයෙන් පිරිපුන් සමාජීය පාර්ශවකරුවන් පිරිසක් බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. කාන්තාවකට බියෙන් සැකෙන් තොරව මාවතක ගමන් කළ හැකි, ඇයගේ දක්ෂතාවට නිසි ඇගයීමක් ලැබෙන ගෞරවනීය නව යුගයක ආරම්භය වෙනුවෙන් ඇය සිය සුබපැතුම් එක් කර තිබේ.














