අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ දිවයින පුරා සිදු කරන ලද දැවැන්ත සෝදිසි මෙහෙයුම් මාලාවකදී පුද්ගලයින් 512 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. පසුගිය අප්‍රේල් 02 වනදා ක්‍රියාත්මක වූ මෙම විශේෂ මෙහෙයුමේදී පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයින් 29,033 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගත් පිරිස අතර විවිධ අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 10 දෙනෙකුද සිටින බවයි.
මීට අමතරව අධිකරණය මඟින් නිකුත් කර තිබූ සාමාන්‍ය වරෙන්තු හිමි සැකකරුවන් 222 කු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 136 දෙනෙකුද මෙම මෙහෙයුමේදී කොටු කර ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. මේ අතර රථවාහන වැරදි සම්බන්ධයෙන්ද දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 115 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 110 දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව වෙනත් විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,498 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලීසිය කටයුතු කර තිබෙනවා.














