සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝ දර්ශන පරීක්ෂාවට ලක් කරමින්, මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි. බොහෝ රියදුරන් සහ යතුරුපැදිකරුවන් අනතුරුදායක ලෙස රිය පදවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවත්, ඒවා සාක්ෂි ලෙස උපයෝගී කරගනිමින් අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල සහ ප්‍රධාන මාර්ගවල අනාරක්ෂිත ලෙස රිය ධාවනය කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ද ආරම්භ කර තිබේ. මහජනතාවට ද මෙවැනි මාර්ග නීති උල්ලංඝනය කිරීම් දැක්වෙන වීඩියෝ දර්ශන පවතී නම් ඒවා පොලීසිය වෙත යොමු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියි. මෙම පියවර මගින් මාර්ග අනතුරු අවම කර ගැනීමට සහ විනයගරුක රිය පැදවීමේ සංස්කෘතියක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.














