ඉන්දියාවේ චෙන්නායි නුවර ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත විශේෂ ප්‍රාසාංගික උත්සවයක් සඳහා සිය කලා කුසලතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ සංස්කෘතික අංශය වෙත නිල ඇරයුමක් ලැබී තිබේ. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය වන මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් සහ නිලධාරිනියන් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය.
මෙම සංස්කෘතික කණ්ඩායමට පොලිස් තූර්ය වාදන අංශයේ නිලධාරීන් 15 දෙනෙකු සහ පොලිස් නැටුම් කණ්ඩායමේ නිලධාරිනියන් 6 දෙනෙකු ඇතුළත් වන බව පොලිස් සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කළේය. දෙරට අතර සංස්කෘතික සබැඳියාව සහ සුහදත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.














