අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග අනතුරු සහ රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිස් නිලධාරීන් 8,000ක් යොදවා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පවසයි. විශේෂයෙන්ම බීමත් රියදුරන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර වාහන පදවන්නන් අත්අඩංගුවට ගැනීමට බ්‍රෙත්ලයිසර් යන්ත්‍ර සහ වෛද්‍ය පරීක්ෂණ මගින් දැඩි සෝදිසි කිරීම් සිදු කෙරේ.
මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් පිළිබඳ තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පොලීසියට ලබා දීමට විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දී ඇති අතර, සමාජ මාධ්‍ය හරහා ලැබෙන සාක්ෂි මත ද නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය. නගරබඩ වෙළෙඳසල් ආශ්‍රිතව පවතින රථවාහන නැවැත්වීමේ (Parking) ගැටලුව පාලනය කිරීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇති අතර, මාර්ග අවහිර වන සේ වාහන නැවැත්වීම සපුරා තහනම් වේ.














