එළඹෙන උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා අතිරේක පොලිස් බලඇණි යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා අද (අප්‍රේල් 07) ප්‍රකාශ කළේය. ඒ අනුව රථවාහන පාලන කටයුතු සඳහා පමණක් පොලිස් නිලධාරීන් 7,500ක් දිවයින පුරා යොදවා ඇති අතර, ජනතාව ගැවසෙන ජලාශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාව වෙනුවෙන් ජීවිතාරක්ෂක නිලධාරීන් 400ක් ද අනුයුක්ත කර තිබේ.
උත්සව සමයේ සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බවත්, බීමත්ව රිය පදවන පුද්ගලයින් සහ මාර්ග නීති උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය. එසේම, අනතුරුදායක සහ ප්‍රමිතියෙන් තොර ගිනිකෙලි භාවිතය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, ගිනිකෙලි නිසා සිදුවන ශාරීරික හානි වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි දින කිහිපය තුළ නගර ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදය කළමනාකරණය කිරීමට සහ සාප්පු සවාරි යන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම අතිරේක පොලිස් බලඇණි සහාය වනු ඇත. උත්සව සිරිය භුක්ති විඳින අතරතුර තමන්ගේ සහ අන් අයගේ ආරක්ෂාව පිළිබඳව වගකීමෙන් කටයුතු කරන ලෙස පොලිසිය වැඩිදුරටත් මතක් කර දෙයි.














