අලුත් අවුරුදු උත්සව සමයේ අධිවේගී මාර්ග භාවිතා කරමින් ගම්බිම් බලා යන මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධික වේගයෙන් සහ අන්තරාදායක ලෙස රිය ධාවනය කරන්නන් සොයා විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මාර්ග පද්ධතිය පුරා සවිකර ඇති CCTV කැමරා පද්ධති ඔස්සේ නීති උල්ලංඝනය කරන වාහන හඳුනා ගැනීමට කටයුතු කරන බවයි.
අධිවේගී මාර්ගවල පිවිසුම් සහ පිටවුම් ආසන්නයේ විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. මෙහිදී වඩාත් වැදගත් පියවරක් ලෙස, මහජනතාවට ද රථවාහන නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳ තොරතුරු සහ වීඩියෝ දර්ශන පොලීසියට ලබාදීම සඳහා 070 4755600 යන විශේෂ WhatsApp අංකය හඳුන්වා දී තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරන්නේ අන්තරාදායක ලෙස රිය ධාවනය කරන්නන්ට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි. උත්සව සමයේ සිදුවන මාරක රිය අනතුරු අවම කර ගැනීමට නම් රියදුරන් මෙන්ම පදිකයන් ද දැඩි අවධානයෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
අද (12) දිනයේත් අධිවේගී මාර්ගවල සහ ප්‍රධාන මාර්ගවල වාහන සංඛ්‍යාව ඉහළ යා හැකි බැවින්, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ද සැලකිල්ලට ගෙන රිය පදවන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති. විශේෂයෙන්ම අධික වේගය පාලනය කිරීම සහ මාර්ග නීති අකුරටම පිළිපැදීම මගින් තම පවුලේ අය සමඟ ආරක්ෂිතව අවුරුදු සැමරීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.













