ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටින ජනතාවට අගතියක් නොවන පරිදි, පෝලිමෙන් පිටතින් පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට ඉන්ධන නිකුත් නොකරන ලෙස පොලීසිය සහ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැඩි උපදෙස් ලබාදී තිබේ. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ පෝලිමට පිටින් ඉන්ධන ලබාගැනීමට උත්සාහ කිරීමෙන් අනවශ්‍ය කලබලකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකි බවයි.
එමෙන්ම ඇතැම් යතුරුපැදිකරුවන් පදික වේදිකා මත සිය වාහන නතර කර තැබීම හේතුවෙන් මගීන්ට සිදුවන බාධාවන් වැළැක්වීමට ද පියවර ගෙන ඇත. පෝලිම් පවතින ප්‍රදේශවල මහජන ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














