රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා (Air Arabia) ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි 32 හැවිරිදි මෙම සැකකරු, ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සිටි රේගු නිලධාරීන් දැක බියට පත්ව සිය ගමන් මලු අතහැර දමා පළා යාමට උත්සාහ කර ඇත. එහිදී වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකරු නවතා සිදු කළ පරීක්ෂාවේදී ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,200ක් අඩංගු දුම්වැටි කාටූන් 101ක් සොයා ගැනීමට සමත් විය.
පවතින මැදපෙරදිග අර්බුදය හමුවේ ගුවන් තොටුපොළ ආරක්ෂක කටයුතු සහ රේගු පරීක්ෂාවන් දැඩි කර ඇති පසුබිමක මෙම වැටලීම සිදු කර තිබීම විශේෂත්වයකි. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, මෙලෙස නීතිවිරෝධී ලෙස දුම්වැටි ගෙන්වීම පිටුපස ඇති ජාවාරම්කරුවන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය බලාපොරොත්තු වේ. මෙරට තුළ විදේශීය දුම්වැටි අලෙවිය තහනම් කර ඇති බැවින්, ඉහළ ලාභ අපේක්ෂාවෙන් මෙවැනි ජාවාරම් සිදු වන බව රේගු බලධාරීන් පෙන්වා දෙයි.














