නීත්‍යානුකූල බලපත්‍රයකින් තොරව ඩීසල් තොග සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මින් පළමු වැටලීම සිදුකර ඇත්තේ කටුනායක පොලිස් වසමට අයත් හීනටියන ප්‍රදේශයේදී වන අතර එහිදී කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව ඊයේ රාත්‍රී කාලයේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එම වැටලීමේදී නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි ඩීසල් ලීටර් 410 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. මේ පිළිබඳව කටුනායක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
මේ අතර හලාවත පොලිස් වසමට අයත් මුදලියාවෙල ප්‍රදේශයේදී ද මෙවැනිම ආකාරයේ තවත් වැටලීමක් සිදුකර තිබේ. හලාවත පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ සවස් කාලයේ සිදුකළ එම වැටලීමේදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 55 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු ඉලප්පදෙනිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි වියේ පසුවන්නෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද හලාවත පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර නීතිවිරෝධී ඉන්ධන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.














