සමාජයේ අපරාධ අවම කිරීම, මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සහ මාර්ග විනය සුරැකීමේ අරමුණින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ඊයේ (07) ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයින් 568 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම පැය 24ක කාලය තුළ පුද්ගලයින් 26,895 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බවයි.
මෙම මෙහෙයුමේදී අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 15 දෙනෙකු හඳුනාගත් අතර, විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 445 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. මීට අමතරව මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් රැසක් ද මෙම වැටලීම්වලදී කොටු කරගෙන තිබේ.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කළ මෙම මෙහෙයුමේදී, බීමත්ව රිය පැදවූ රියදුරන් 282 දෙනෙකු සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවූ රියදුරන් 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව විවිධ රථවාහන වැරදි සිදුකළ තවත් පුද්ගලයින් 4,160 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබා ගන්නා පුද්ගලයින් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීම සඳහා මෙවැනි විශේෂ මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.














