ශ්‍රී ලංකා පොලිසියේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුපියල් මිලියන 556ක වටිනාකමකින් යුත් නවීන තාක්ෂණික උපකරණ තොගයක් නිල වශයෙන් පොලිසිය වෙත ලබා දීම අද (18) සිදු විය. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම ප්‍රදානය සිදු කෙරුණු අතර, මෙය මෑත ඉතිහාසයේ පොලිසිය වෙත ලබා දුන් විශාලතම උපකරණ ප්‍රදානය ලෙස සැලකේ.
මෙම ආයෝජනය යටතේ රුපියල් මිලියන 365ක වියදමින් පරිගණක යන්ත්‍ර 1,718ක්, රුපියල් මිලියන 129ක වියදමින් ඡායා පිටපත් යන්ත්‍ර 575ක් සහ රුපියල් මිලියන 17ක වියදමින් යූ.පී.එස්. (UPS) පද්ධති 1,750ක් පොලිස් ස්ථාන වෙත බෙදා දීමට නියමිතය. මෙමගින් පොලිස් ස්ථානවල ලේඛන කළමනාකරණය, දත්ත සුරක්ෂිත කිරීම සහ විමර්ශන ක්‍රියාවලිය වඩාත් වේගවත් හා කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලුවලට පිළියම් ලෙස රුපියල් මිලියන 45ක වටිනාකමකින් යුත් නවීන වේගමාපක යන්ත්‍ර (Speed Cameras) ද මෙම උපකරණ අතර වේ. මෙම නවීන උපකරණ භාවිතයෙන් අධික වේගයෙන් රිය පදවන රියදුරන්ට එරෙහිව නිවැරදි සහ කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රථවාහන පොලිසියට හැකියාව ලැබේ.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. තාක්ෂණය සමඟ පොලිස් සේවය යාවත්කාලීන කිරීම හරහා මහජනතාවට වඩාත් ගුණාත්මක සහ පාරදෘශ්‍ය සේවාවක් ලබා දීමටත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමටත් රජය මෙලෙස පියවර ගෙන තිබේ.














