ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ බවට හැඟවෙන පරිදි “ප්‍රවේශම් වන්න, අප රටේ මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ…” යනුවෙන් ආරම්භ වන පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇත. මෙම පණිවිඩය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය අවධාරණය කරන්නේ එය කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙන්නේ නිල දැනුවත් කිරීමක් සිදු කරන්නේ නම් එය සැමවිටම නියමිත ලිපි ශීර්ෂය සහිත නිල මාධ්‍ය නිවේදනයක් ලෙස නිකුත් කරන බවයි. එමෙන්ම, පොලිසියේ නිල Facebook පිටුව සහ YouTube නාලිකාව ඔස්සේ පමණක් නිල පණිවිඩ ජනගත කරන බවද ඔවුන් සඳහන් කරයි.
මෙලෙස පොලිසියේ නම භාවිත කරමින් සැලසුම් සහගතව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් සොයා ගැනීමට මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. එබැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි පණිවිඩ හුවමාරු කිරීමේදී වඩාත් ඥානාන්විතව සහ අවබෝධයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.















