සමාජ මාධ්‍ය ඔස්සේ අසාමාන්‍ය ලෙස අඩු මිලට හෝ විශේෂ වට්ටම් යටතේ ගුවන් ටිකට්පත් ලබා දෙන බව පවසමින් සංසරණය වන පණිවිඩ පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දැනුම් දෙයි. මෙම ව්‍යාජ දැන්වීම් මගින් පාරිභෝගිකයන් නොමඟ යවා මුදල් සහ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට ජාවාරම්කරුවන් උත්සාහ කරන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම මූල්‍ය වංචාවලින් ආරක්ෂා වීම සඳහා සැක සහිත හෝ තහවුරු නොකළ සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, කිසිදු හේතුවක් මත බැංකු තොරතුරු, OTP අංක හෝ මුරපද (Passwords) කිසිවෙකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙසත් පොලිසිය අවධාරණය කරයි. ඕනෑම ප්‍රවර්ධන වැඩසටහනක් අදාළ ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය හෝ තහවුරු කළ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ගුවන් ගමන් වාර සංශෝධනය වන අවස්ථාවක මෙවැනි වංචාකරුවන් ක්‍රියාත්මක විය හැකි බැවින්, ලියාපදිංචි සහ විශ්වාසදායක සංචාරක නියෝජිතයන් මගින් පමණක් වෙන් කිරීම් සිදු කරන ලෙස පොලිසිය වැඩිදුරටත් උපදෙස් දෙයි.














