පවතින බලශක්ති අර්බුදය සහ ජීවන වියදම ඉහළ යාම හමුවේ වත්මන් රජය අනුගමනය කරන්නේ අර්බුද ජනතාව පිට පටවා බොරුවෙන් සහ සංදර්ශනවලින් කාලය ගත කිරීමේ පිළිවෙතක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා චෝදනා කරයි. අද (2026 මාර්තු 25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, විපක්ෂයේ සිටියදී අනුර කුමාර දිසානායක මහතා පෑ භූමිකාව සහ වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අතර පවතින පරස්පරතාවය හමුවේ ජනතාව දැඩි උභතෝකෝටිකයකට පත්ව ඇති බවයි.
වත්මන් රජය පවතින විදුලි සහ බලශක්ති අර්බුදය මැදපෙරදිග යුද්ධයට හෝ ස්වභාවික විපත්වලට බැර කිරීමට උත්සාහ කළද, මෙයට සැබෑ හේතුව ආණ්ඩුවේ කළමනාකරණයේ පවතින දුර්වලතාවය සහ වැඩ බැරිකම බව ඔහු පෙන්වා දුන්නේය. විදුලි අර්බුදය යුද්ධය නිසා ඇති වූවක් නොව, ගල් අඟුරු සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවක් බවත් එහි වන්දිය ජනතාවට ගෙවීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.
සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විසින් රෙදි එකට හෝදන ලෙස කළ ප්‍රකාශය විවේචනය කළ මන්ත්‍රීවරයා, මාලිමාවට ඡන්දය දුන් ජනතාවට අද වන විට හෝදන්නට රෙදි පවා ඉතිරි වී නොමැති තරමට ඔවුන් පීඩාවට පත්ව ඇති බව සඳහන් කළේය. එමෙන්ම චතුරංග අබේසිංහ අමාත්‍යවරයා කුප්පි ලාම්පු යුගය මතක් කරන ලෙස පැවසීම පිළිබඳව අදහස් දක්වමින්, අතීතයේදී සාම්පූර් සහ එල්.එන්.ජී. (LNG) බලාගාර ඉදිකිරීමට විරුද්ධ වෙමින් රටේ බලශක්ති පද්ධතිය විනාශ කිරීමට අකුල් හෙළුවේ ජනතා විමුක්ති පෙරමුණ බව ජනතාව අමතක කර නැතැයි ද ඔහු අවධාරණය කළේය.
කයිය ගසා ආණ්ඩු බලය ලබා ගත්තද බොරුවෙන් රටක් පාලනය කළ නොහැකි බවත්, වත්මන් පාලනය මේ වන විටත් ජනතාව ඉදිරියේ අසමත් වී ඇති බවත් සම්පත් අතුකෝරළ මහතා වැඩිදුරටත් කියා සිටියේය.














