පවතින ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ පිරිවැය කළමනාකරණය කරගැනීමේ පියවරක් ලෙස තැපැල් පාර්සල් බෙදා හැරීමේ කටයුතු දිනක් හැර දිනක් (Every other day) සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, විශේෂයෙන්ම කොළඹ සිට දුර බැහැර ප්‍රදේශ වෙත සිදු කරන තැපැල් ප්‍රවාහන කටයුතු සීමා කිරීමට මෙහිදී පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව කොළඹ සිට යාපනය (වවුනියාව හරහා), මඩකලපුව (පොළොන්නරුව හරහා), බදුල්ල සහ මහනුවර යන ප්‍රධාන ගමන් මාර්ගවල තැපැල් බෙදා හැරීම් සතියේ ඉරිදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් සිදු කෙරේ. මීට සමාන්තරව දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වෙත පැමිණෙන තැපැල් පාර්සල් ප්‍රවාහනය ද මෙම දිනක් හැර දිනක් යන ක්‍රමවේදය යටතේම ක්‍රියාත්මක වනු ඇත. ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් සීමා වීම හමුවේ තැපැල් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගත් බව නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














