ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින්, 1969 අංක 33 දරන පනත යටතේ ක්‍රියාත්මක වූ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කර රජය සතු නව සමාගම් හයක් ස්ථාපිත කර ඇති බව විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂණ මහතා පවසයි. පසුගිය මාර්තු 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සමාගම් හතරක් විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති පාලනය යන ප්‍රධාන අංශ සඳහා වෙන් කර ඇති අතර, ඉතිරි සමාගම් දෙක සේවක සුබසාධන හා ආධාරක සේවා සඳහා වෙන් කර තිබේ. මෙම සියලු සමාගම් සියයට සියයක් රජය සතු වන අතර, දේශීය හා විදේශීය විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමයි. තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කිරීම මඟින් දැනට පවතින ඉහළ විදුලි පිරිවැය අඩු කර ජනතාවට දරාගත හැකි මිලකට විදුලිය ලබාදීම රජයේ ඉලක්කය වී තිබේ. මාර්තු 9න් පසුව සිදු වූ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ, එය මීට පෙර ඉදිරිපත් කර තිබූ මිල සංශෝධන යෝජනා මහජන උපයෝගිතා කොමිසම විසින් සලකා බැලීමෙන් අනතුරුව සිදු කළ එකක් බවයි. ඉදිරියේදී විදුලිය මිලදී ගැනීම තරගකාරී වෙළඳපොළ ක්‍රමවේදයන් යටතේ සිදු කිරීම හරහා පාරිභෝගිකයාට සෘජු සහන ලබාදීමට සැලසුම් කර ඇත.
ගෝලීය බලශක්ති අර්බුද, යුදමය තත්ත්වයන් සහ පාරිසරික වෙනස්කම් හමුවේ වුවද ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමට අවශ්‍ය බලශක්තිය සැපයීම රජයේ වගකීමක් බව ඔහු අවධාරණය කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ලක්ෂ 75ක් වන පාරිභෝගිකයන් අතරින් ලක්ෂ 50ක් පමණ අඩු විදුලි ප්‍රමාණයක් භාවිතා කරන පිරිස් වන අතර, ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට නම් සහනදායී බලශක්ති පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්තිය භාවිතයට අවශ්‍ය තාක්ෂණය මිල අධික වුවද, නිසි කළමනාකරණය සහ විනිවිදභාවයෙන් යුතු ගිවිසුම් හරහා දිගුකාලීන විසඳුම් කරා ගමන් කරන බව පුබුදු නිරෝෂණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














