ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති 22ක නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (මාර්තු 13) පැවැත්වීමට නියමිතය. ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ විදුලි සේවකයින් මුහුණ දෙන දැවෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම හමුව සිදුවන බවයි. මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම විදුලි සේවකයින්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරේ. එමෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත් සමඟ අලුතින් පිහිටුවන ලද සමාගම්වල සේවක ස්වාමිත්වය අහිමි වීම පිළිබඳව පවතින විරෝධතාවය සහ ආයතනික වෙනස්කම් මධ්‍යයේ සේවකයින්ගේ අනාගත වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතව ඇත. විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි ගමන සහ සේවක අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව ඉතා තීරණාත්මක වනු ඇතැයි වෘත්තිය සමිති නායකයෝ අපේක්ෂා කරති.













