භාෂාමය උරුමයන් සුරක්ෂිත කිරීම හුදු සංස්කෘතික වගකීමක් පමණක් නොව, එය ලෝකයේ විවිධත්වය රැකගැනීම සඳහා වූ පොදු කැපවීමක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළාය. කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී පැවැති ‘ජාත්‍යන්තර මව් භාෂා දින’ සැමරුම් උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ආයතන කිහිපයක සහයෝගයෙන් සංවිධාන කර තිබූ මෙම වැඩසටහනේදී, මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන ලද නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ සිසුන්ට සම්මාන පිරිනැමීම ද අගමැතිනිය අතින් සිදු විය.
ඩිජිටල් තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වන වර්තමාන ලෝකය තුළ බොහෝ භාෂා අභාවයට යෑමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් අගමැතිනිය, තාක්ෂණය සහ නිවැරදි ප්‍රතිපත්ති හරහා එම භාෂා සුරැකීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ පවතින බහුභාෂා උරුමය කළමනාකරණය කළ යුතු අභියෝගයක් නොව, අගය කළ යුතු ශක්තියක් බවත්, භාෂා අයිතීන් සුරක්ෂිත කිරීම හරහා සමාජ සහජීවනය ගොඩනැඟිය හැකි බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම අවස්ථාවට බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් මහතා, නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි මහතා ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ පාසල් දරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.














