ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනයකට අනුව පිලිපීනයේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, එරට ලොස් බැනෝස්හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ඇති කිරීම සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වී තිබේ.
මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුර ශ්‍රී ලංකාවේ වී ගොවීන් මුහුණ දෙන විවිධ අභියෝග සහ ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය බලධාරීන් සමඟ සාකච්ඡා කළාය. විශේෂයෙන්ම මෙරට වී අස්වැන්න ඉහළ නැංවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම සහ ජාත්‍යන්තර පර්යේෂණ දායකත්වය ලබා ගැනීමේ ඇති හැකියාව කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන වී ප්‍රභේද හඳුන්වා දීම ඇතුළු පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඉදිරි සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ද මෙහිදී එකඟතාව පළ විය.














