යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක් (Non-motorized Treadmill) මත අඛණ්ඩව පැය 48ක කාලයක් ධාවනයේ යෙදෙමින් නව ගිනස් ලෝක වාර්තා තුනක් පිහිටුවීමට විශ්‍රාමික රියඅද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා අද (22) උදෑසන සමත් විය. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ පහසුකම් ඇතිව පැවැත්වුණු මෙම අභියෝගාත්මක ඉසව්ව පෙරේදා දිනයේ ආරම්භ කර අද දිනයේ සාර්ථකව නිමා කිරීමට ඔහුට හැකි විය. මෙය ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම මව්බිමට ද මහත් කීර්තියක් ගෙන දුන් සුවිශේෂී ජයග්‍රහණයකි.
මෙහිදී ඔහු විසින්ම මීට පෙර තබා තිබූ වාර්තා අලුත් කරමින් පළමු ගිනස් වාර්තාව ලෙස පැය 12ක කාලයක් තුළ කිලෝමීටර් 100.36ක දුරක් ධාවනය කිරීමට සමත් වූ අතර එහි පැරණි වාර්තාව වූයේ කිලෝමීටර් 94.30කි. අනතුරුව දෙවන ගිනස් වාර්තාව සඳහා සුදුසුකම් සපුරමින් පැය 24ක කාලයක් තුළ කිලෝමීටර් 190.55ක දුරක් ධාවනය කරමින් මීට පෙර පැවති කිලෝමීටර් 188.13ක ලෝක වාර්තාව ද බිඳ දැමීමට ඔහු සමත් විය. සිය අවසන් ඉලක්කය වූ පැය 48ක කාලය නිමවන විට කිලෝමීටර් 316.4ක දුරක් අඛණ්ඩව දිවීමෙන් සිය තෙවැනි ගිනස් ලෝක වාර්තාව ද අද උදෑසන සාර්ථකව තහවුරු කර ගැනීමට ඔහුට හැකි විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ප්‍රින්ස්ලි ලියනගේ මහතා දැක්වූ මෙම අසාමාන්‍ය දස්කම, අසීමිත අධිෂ්ඨානය සහ කැපවීම තුළින් ඕනෑම දැවැන්ත අභියෝගයක් ජයගත හැකි බවට ලෝකයටම ලබා දුන් විශිෂ්ට ආදර්ශයකි. මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් නාවික හමුදාව ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් ඔහු වෙත මේ වන විට සුබපැතුම් එක් වෙමින් පවතී.














