මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) මගින් සුබසාධන ප්‍රතිලාභ ලබා දීමේ ඓතිහාසික වැඩපිළිවෙළක් රජය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ. පොදු ප්‍රවාහන සේවාව වඩාත් ස්ථාවරව පවත්වාගෙන යාම සහ එම ක්ෂේත්‍රයේ නියුතු සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණයි.
මේ අනුව මින් ඉදිරියට පෞද්ගලික බස් රථ සේවකයන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ කුලී රථ (Taxi) ඇතුළු සමස්ත රාජ්‍ය නොවන ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු සේවකයන්ට මීට පෙර අහිමිව තිබූ සුබසාධන අනුග්‍රහයන් හිමිවනු ඇත. නාගරික සංවර්ධන, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම සේවක කණ්ඩායම් ETF මණ්ඩලය යටතේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය රාමුව මේ වන විටත් සකස් කර අවසන්ය.
මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නිල අවබෝධතා ගිවිසුම ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය අතර ඊයේ (12) මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අත්සන් කරන ලදී. මෙම නව පියවර හරහා ලක්ෂ සංඛ්‍යාත පෞද්ගලික ප්‍රවාහන සේවකයන්ට සිය විශ්‍රාමික ජීවිතය සහ හදිසි ආපදාවකදී අවශ්‍ය වන මූල්‍යමය සහයෝගය ලබා ගැනීමට මග පෑදෙනු ඇත.














