වර්තමානයේ පවතින උග්‍ර ගෝලීය අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආර්ථික සහ සමාජීය බලපෑම් පිළිබඳව සොයා බැලීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැතිඇමතිවරුන් රැසක් සහ ප්‍රධාන අමාත්‍යාංශවල නිලධාරීන් සහභාගී වූහ.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශ කටයුතු, බලශක්ති, ආරක්ෂක, සහ ආහාර සුරක්ෂිතතා වැනි ප්‍රධාන අමාත්‍යාංශ නියෝජනය කළ නිලධාරීන් විසින් පවතින අවදානම් තත්ත්වයන් සහ ඒවාට මුහුණ දීම සඳහා සකස් කර ඇති පූර්ව සැලසුම් ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන්ම බලශක්ති සැපයුම, ආහාර සුරක්ෂිතතාව සහ මූල්‍ය ස්ථාවරත්වය රැක ගැනීම සඳහා ගත යුතු ක්ෂණික පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරුණි.














