එළඹෙන උත්සව සමය නිමිත්තෙන් මහජන සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දිවයින පුරා විශේෂ පරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය. එම සංගමයේ ලේකම් අනුර තිලකසිරි මහතා සඳහන් කළේ, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මට්ටමින් මෙම මෙහෙයුම් සඳහා නිලධාරීන් 2,000කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි.
මෙම වැඩපිළිවෙළ යටතේ ආහාර අලෙවිසැල් පරීක්ෂා කිරීම, වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම, නිවේදන නිකුත් කිරීම සහ වෙළෙඳුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම උත්සව සමය ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කෙරෙන රසකැවිලි, කේක් සහ බිස්කට් වර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත්, ආහාර ඇසුරුම්වල ලේබල් කිරීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත වහාම දැනුම් දෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
යම් හෙයකින් ආහාර පනත උල්ලංඝනය කරන වෙළෙඳුන් හෝ නිෂ්පාදකයින් හඳුනාගතහොත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සහ සිරදඬුවම් ලබා දීම වැනි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සතු බලතල උපරිමයෙන් භාවිත කරන බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම උත්සව සමයේදී පාරිභෝගිකයින්ට පිරිසිදු සහ ගුණාත්මක ආහාර ලබා දීමට වගකීමෙන් කටයුතු කරන ලෙස ඔහු සියලුම වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.














