2026 අයවැය මගින් යෝජනා කරන ලද පරිදි රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන දේපළ ණය සීමාව ඉහළ නැංවීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අද (28) නිල වශයෙන් නිකුත් කෙරුණි. ඒ අනුව මෙතෙක් රුපියල් ලක්ෂ 30ක උපරිමයකට යටත්ව තිබූ දේපළ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ.
රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සහ ඔවුන්ගේ නිවාස හිමිකාරිත්වය ප්‍රවර්ධනය කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි. සහන පොලී පදනම යටතේ ලබාදෙන මෙම ණය මුදල ඉහළ දැමීමත් සමඟ, වත්මන් නිවාස ඉදිකිරීම් පිරිවැයට සාපේක්ෂව සාර්ථක ලෙස නිවාස අවශ්‍යතා සපුරා ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව හිමිවේ.
මෙම නව සංශෝධනයත් සමඟ මීට පෙර පැවති සීමාවන් හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටි දහස් සංඛ්‍යාත රාජ්‍ය සේවකයන්ට සහනයක් සැලසෙනු ඇත. අදාළ චක්‍රලේඛයේ සඳහන් කොන්දේසි ප්‍රකාරව සුදුසුකම් ලබන නිලධාරීන්ට අදාළ ආයතන ප්‍රධානීන් හරහා මෙම නව ණය සීමාවන් සඳහා අයදුම් කිරීමට දැන් හැකියාව පවතී.














