පවතින උග්‍ර ඉන්ධන අර්බුදය කළමනාකරණය කරගැනීමේ අරමුණින් හෙට (මාර්තු 18) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවාවන් සීමා කිරීමට රජය තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළේය. රජය විසින් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, එදිනට ධාවනය වන බස් රථ සහ දුම්රිය වාර සංඛ්‍යාව අවම කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ.
මෙම තීරණයත් සමඟ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම සඳහා රජයේ කාර්යාල වසා තැබීමට අදාළ චක්‍රලේඛය ද මේ වන විට නිකුත් කර ඇති අතර, පාර්ලිමේන්තුව ද හෙට දිනයේ රැස් නොවන බව වාර්තා වේ. මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 103 මට්ටමේ පවතින බැවින්, මෙරට බලශක්ති අර්බුදය පාලනය කිරීමට මෙවැනි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. කෙසේ වුවද, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සීමිත මට්ටමින් පවත්වාගෙන යාමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.














