මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන සැපයුම් බාධාවන් මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව ලබාදුන් කඩිනම් සහයෝගය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කර තිබේ. ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පසුගියදා පැවැති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉන්ධන තොගය මෙරටට ලැබී ඇත.
සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, දින කිහිපයකට පෙර තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවට අනුව ඊයේ (28) දිනයේදී ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟා වූ බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාට ද ජනාධිපතිවරයා ස්තූතිය පුද කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මීට පෙර සඳහන් කළ පරිදි, මෙම ඉන්ධන ආධාරයට ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් ඇතුළත් වේ. පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ඉන්දියාව මෙලෙස කඩිනමින් ශ්‍රී ලංකාවට සහය වීම දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව යළිත් තහවුරු කරන්නක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














