අරාබි ගල්ෆ් කලාපයේ රටවලට ඉරානය එල්ල කළ ප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාවට ශ්‍රී ලංකාව සහය නොදැක්වීමට තීරණය කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද, ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටින රටක් ලෙස මෙවැනි “අසමබර” යෝජනාවලට සහය නොදක්වන බවත්, අදාළ යෝජනාව මගින් ගැටුමේ එක් පාර්ශවයකට පමණක් වගකීම පැටවීමට උත්සාහ කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම ඇමෙරිකානු සහ ඊශ්‍රායල ක්‍රියාවන් පිළිබඳව එම යෝජනාවේ සඳහන් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් එය අනුමත කිරීමෙන් වැළකී සිටි බව ඔහු පෙන්වා දුන්නේය.
ගැටුමකදී දෙපාර්ශවයම වගකීම දැරිය යුතු බව පවසන අමාත්‍යවරයා, එක් පාර්ශවයකට පමණක් දොස් පැවරීමෙන් යුද්ධය නැවැත්විය නොහැකි බවත්, ස්ථාවර තීරණයක් ගැනීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් සඳහන් කළේය. කිසිදු අවස්ථාවක රටට අවාසිදායක වන ස්ථාවරයන් ලබා නොගන්නා බව පැවසූ ඔහු, ජාත්‍යන්තර සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සැමවිටම සිය ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර නීතිය ආරක්ෂා වන පරිදි කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
මීට අමතරව, දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඉරාන නාවික හමුදා සාමාජිකයින් පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ඉරාන නාවික හමුදා සහායක නෞකාවක් වූ IRIS Bushehr වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පසු එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 208 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන ආ අතර, ඔවුන් දැනට වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටිති. යුදමය වාතාවරණයක් පවතින අවස්ථාවක ගැටුමට සම්බන්ධ පාර්ශවයක නෞකාවක් මෙරට වරායක් අසල තිබීම සහ එම පිරිස මෙරට භාරයේ සිටීම ඉතා සංවේදී කරුණක් බවත්, ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි තීරණ ඉතා කල්පනාකාරීව ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














