2026 වසරේ මුල් මාස දෙක තුළ මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වාර්ෂික පදනම මත 32% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) ප්‍රකාශ කළේය. විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් නිල බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවීම ඉහළ යාම මෙම වර්ධනයට ප්‍රධාන හේතුව වී තිබේ.
පෙබරවාරි මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක් ලෙස සටහන් වූ අතර, මේ වසරේ මේ දක්වා කාලය තුළ රුපියල අවප්‍රමාණය වීම 1.6% ක් ලෙස වාර්තා වේ. එමෙන්ම වසරේ මුල් මාස දෙක තුළ රථවාහන ආනයනය සඳහා වැය කර ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 418 කි. විදේශ ප්‍රේෂණ ඉහළ යාම රටේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට විශාල රුකුලක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.














