දේශීය වෙළෙඳපොළේ දැනට පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට කඩිනම් පිළියමක් වශයෙන් විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඉදිරිපත් කර ඇති යාවත්කාලීන දත්තවලට අනුව 2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා සමස්ත නිෂ්පාදනය මෙරට පවතින අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දී ඇත. මේ හේතුවෙන් එළඹෙන මැයි මාසයේ සිට එම සහල්වල උග්‍ර හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී ඇති බැවින් ස්ථාවර මිලක් පවත්වා ගනිමින් වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා විකල්ප සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාව ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ ද අවධානයට ලක්ව තිබුණි.
ඒ අනුව, සම්බා සහ කීරි සම්බා සඳහා ආදේශක ලෙස සලකනු ලබන, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Code) 1006.30.29 යටතේ ගැනෙන පොන්නි සම්බා සහ කිරි/පාල් පොන්නි සහල් ඇතුළුව ‘GR 11’ ලෙස හඳුන්වනු ලබන සහල් වර්ගයෙන් මෙට්‍රික් ටොන් 1,040ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර හිමිව ඇත. ඕනෑම ආනයනකරුවෙකුට 2026 අප්‍රේල් 01 දින සිට 2026 අප්‍රේල් 30 දින දක්වා කාල සීමාව තුළ මෙම සහල් තොග ආනයනය කළ හැකි අතර එම තොග 2026 මැයි 31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කරගත යුතුය. තවද මෙම සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන් ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමට ද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.














