ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ප්‍රවීණ රග්බි ක්‍රීඩක දුෂාන් ලෙව්කේ මහතා පත් කර තිබේ. ලබන මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිත නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලිය සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තවත් ජාත්‍යන්තර රග්බි තරගාවලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර ඔහු මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. (CR & FC) කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම කණ්ඩායමට විශාල ජයග්‍රහණ රැසක් අත්කර දීමට සමත් විය. හිටපු ජාතික ක්‍රීඩකයෙකු වන දුෂාන් ලෙව්කේ මහතා පාසල් සහ අන්තර් සමාජ මට්ටමින් දක්ෂ පුහුණුකරුවෙකු ලෙස ඉහළ පිළිගැනීමක් දිනා සිටින අයෙකු වන අතර ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ දක්ෂතා යළි ඉහළ නැංවීම සහ නවක ක්‍රීඩකයින් ජාත්‍යන්තර අත්දැකීම් සඳහා සූදානම් කිරීම ඔහුට පැවරී ඇති ප්‍රධාන වගකීමයි.
















