2026 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.6 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරනවා.
මහ බැංකු දත්තවලට අනුව, ඊයේ (මාර්තු 31) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.76ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 319.31ක් ලෙසත් සටහන්ව තිබුණා. 2026 පෙබරවාරි අග භාගයේදී මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මතුවූ බාහිර අංශයේ පීඩනයන්, රුපියල මෙලෙස අවප්‍රමාණය වීමට ප්‍රධානතම හේතුව වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
රුපියලේ අගය මෙලෙස පහත වැටුණද, 2025 නොවැම්බර් මාසයේ සිට දක්නට ලැබුණු සුබවාදී ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගනිමින් 2026 පෙබරවාරි මාසයේදී ද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2026 ජනවාරි සහ පෙබරවාරි යන කාලසීමාව තුළ වාර්තා වී ඇති සමුච්චිත අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 487 කි.
කෙසේ වෙතත්, 2026 පෙබරවාරි මස “බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය” පිළිබඳ වාර්තාවට අනුව මෙරට වෙළඳ හිඟය තවදුරටත් පුළුල් වී ඇත. 2025 වසරේ මුල් මාස දෙකේ පැවති ඩොලර් බිලියන 1.1 ක හිඟය, 2026 වසරේ අදාළ කාලය තුළ ඩොලර් බිලියන 1.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස වෙළඳ හිඟය පුළුල් වීමට පුද්ගලික සහ වාණිජ වාහන ආනයනය සෘජුවම බලපා ඇති අතර, ඒ සඳහා පෙබරවාරි මාසයේදී පමණක් ඩොලර් මිලියන 194 ක් වැය වී ඇති අතර වසරේ මුල් මාස දෙක තුළ එම සමස්ත අගය ඩොලර් මිලියන 418 කි.
චීන මහජන බැංකුව (PBOC) සමඟ ඇති හුවමාරු පහසුකම (Swap facility) ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය 2026 පෙබරවාරි අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 7.3 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදේශ ණය සේවාකරණය අඛණ්ඩව සිදු කළද, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීම ඉහළ නැංවීම හේතුවෙන් සංචිත මට්ටම මෙලෙස වර්ධනය වී ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.














