ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (26) දින සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 317 සීමාව ඉක්මවා ගොස් තිබේ. විවිධ බැංකු වාර්තා කරන දත්තයන්ට අනුව ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති අතර ලෝක වෙළෙඳපොළේ පවතින බලශක්ති අර්බුදය සහ කලාපීය දේශපාලන අස්ථාවරත්වය මෙලෙස විනිමය අනුපාතික කෙරෙහි බලපෑම් එල්ල කර ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ප්‍රධාන බැංකු කිහිපයක අද දින (මාර්තු 26) විනිමය අනුපාතිකයන්:
සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310.50ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 316.25ක් ලෙසත් නොවෙනස්ව පවතින අතර එන්.ඩී.බී (NDB) බැංකුවේ ගැනුම් මිල රුපියල් 310.75ක් දක්වාත් විකුණුම් මිල රුපියල් 317.25ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මහජන බැංකුව වාර්තා කරන පරිදි ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310.73ක් වන අතර විකුණුම් මිල රුපියල් 317.58ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොමර්ෂල් බැංකුවේ ගැනුම් මිල රුපියල් 309.08ක් සහ විකුණුම් මිල රුපියල් 317.50ක් ලෙස සටහන් වන අතර සම්පත් බැංකුවේ ගැනුම් මිල රුපියල් 310.75ක් සහ විකුණුම් මිල රුපියල් 317.25ක් ලෙස වාර්තා වේ. මෙම මිල ඉහළ යාම හමුවේ ඉදිරි දිනවලදී ආනයනික භාණ්ඩවල මිල ගණන් කෙරෙහි යම් බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














