ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය ඊයේ (02) කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී සාර්ථකව පවත්වා තිබේ. දෙරට අතර පවතින සබඳතා පුළුල් ලෙස සමාලෝචනය කිරීම සහ අනාගත සහයෝගීතාව සඳහා වන ඉදිරි පියවර මෙහිදී දීර්ඝව සාකච්ඡාවට බඳුන් විය.
සංචාරක, අධ්‍යාපන, ආරක්ෂක, තාක්ෂණික, වෙළඳ සහ ආයෝජන මෙන්ම ක්‍රීඩා සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය. විශේෂයෙන්ම බලශක්ති, ඛනිජ තෙල්, ගල් අඟුරු සහ පොහොර යන අත්‍යවශ්‍ය අංශවල පවතින සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි.
රුසියානු හමුදාව තුළ සේවය කරන ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී තිබේ. එසේම ද්විපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවීම සඳහා නව නිර්ණායක දර්ශකයක් සැකසීමට ද දෙරටේ නියෝජිතයෝ එකඟතාව පළ කළහ.
2027 වසරට යෙදෙන ශ්‍රී ලංකා – රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සැමරීමටත්, ඒ වෙනුවෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර ඇතුළු ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කිරීමටත් මෙහිදී සැලසුම් කෙරිණි.
මෙම සාකච්ඡාවේ සම-සභාපතිත්වය විදේශ කටයුතු ලේකම් අරුණි රණරාජා මහත්මිය සහ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා විසින් දරන ලදී. අනතුරුව රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට ඇති කැපවීම නැවත අවධාරණය කළේය.













