මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම් දාමයට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින්, රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව විශේෂ සාකච්ඡා ආරම්භ කර තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යන් (Levan S. Dzhagaryan) මහතා අතර අද (13) විදේශ අමාත්‍යාංශයේදී මේ පිළිබඳ හදිසි හමුවක් පැවැත්විණි.
රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් වී ඇති පසුබිමක, මෙරට ඉන්ධන සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අතිරේක පියවරක් ලෙස රුසියානු ඉන්ධන ලබාගැනීමේ හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම වහාම රුසියානු රජය වෙත දැනුම් දෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කඩිනමින් සිදු කරන බවත් රුසියානු තානාපතිවරයා මෙහිදී සහතික විය.
ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය වීමට රුසියාව සූදානම් බව ද තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සාකච්ඡාව සඳහා කම්කරු, මුදල් සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














