ශාන්ත පීටර්ස්බර්ග්හි පැවති ජාත්‍යන්තර ප්‍රවාහන හා සැපයුම් සංසදයට සමගාමීව, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ප්‍රවාහන ක්ෂේත්රයේ කාර්ය මණ්ඩල සූදානම් කිරීම, පුහුණු කිරීම සහ නැවත පුහුණු කිරීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම අත්සන් තබා ඇති අතර එය දෙරට අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන්නකි.
මෙම ගිවිසුම යටතේ මානව සම්පත් සංවර්ධනය, වෘත්තීය පුහුණුව, දැනුම හුවමාරුව සහ ආයතනික ධාරිතා වර්ධනය සඳහා නව අවස්ථා රැසක් උදා වීමට නියමිතය. ඒ අනුව බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථාන, ප්‍රාදේශීය හා නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධනය, යටිතල පහසුකම් ඉදිකිරීම සහ කළමනාකරණය, මාර්ග ආරක්ෂාව, ප්‍රවාහන නීති හා ආර්ථිකය, පරිසරවේදය, ඩිජිටල්කරණය සහ ගෝලීය සේවා වෙළඳපොළේ තරඟකාරී වාසි හඳුනා ගැනීම වැනි ප්රමුඛ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අධ්‍යාපනික සම්මන්ත්රණ සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මෙම අවස්ථාවට සමගාමීව රුසියානු ප්‍රවාහන අමාත්‍ය අන්ද්රේ නිකිටින් මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර පැවති සාකච්ඡාවේදී දුම්රිය ප්‍රවාහන ක්ෂේත්රය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන්ම කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන කිලෝමීටර් 60 ක කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු මෙරට දුම්රිය යටිතල පහසුකම් නවීකරණ කටයුතු සඳහා රුසියානු සමාගම්වල දායකත්වය සහ ධාවන උපකරණ සැපයීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර ඒ සඳහා නිශ්චිත යෝජනා ලැබීමෙන් පසු සලකා බැලීමට රුසියානු පාර්ශ්වය එකඟත්වය පළ කර තිබේ.
මීට අමතරව රුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලයේ (MIIT) ශාඛාවක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවක්ද ඉදිරිපත් වූ අතර දෙරට අතර ගුවන් මගී ප්‍රවාහනය තවදුරටත් පුළුල් කිරීම කෙරෙහිද අවධානය යොමු විය. පසුගිය 2025 වසරේදී මගීන් 219,000 කට අධික සංඛ්‍යාවක් දෙරට අතර ගමන් කර ඇති අතර, 2026 වසරේ ජනවාරි මාසයේදී පමණක් මගීන් 31,000 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබීම නිසා ගුවන් ගමන් වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමේ අන්‍යෝන්‍ය උනන්දුවද මෙහිදී යළිත් තහවුරු කෙරුණි.














