ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ගුවන් ආරක්ෂක (Air Defence) සහ හමුදාමය හැකියාවන් වර්ධනය කරගැනීම පිළිබඳව ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් සාකච්ඡා පවත්වා තිබේ. සෞදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන ‘ලෝක ආරක්ෂක ප්‍රදර්ශනය – 2026′ (World Defence Show) සඳහා සහභාගී වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සහ සෞදි රාජකීය ගුවන් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් මැස්යාඩ් බින් සුලෙයිමාන් අල්-අම්රෝ (Lt. Gen. Mazyad bin Sulaiman Al-Amro) මහතා අතර මෙම හමුව සිදුවිය.
මෙහිදී දෙරට අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ආරක්ෂක සංසද සඳහා අන්‍යෝන්‍ය වශයෙන් සහභාගී වීම පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගුවන් ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීම සඳහා සෞදි අරාබිය තුළදී මෙරට හමුදා නිලධාරීන්ට විශේෂිත පුහුණු අවස්ථාවන් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහිදී ඉල්ලීමක් කළහ. මීට අමතරව, ‘දිට්වා’ (Ditwa) සුළි කුණාටු ව්‍යසනයේදී සෞදි අරාබිය ලබාදුන් සහයෝගය දෙරටේ නොබිඳෙන මිත්‍රත්වයට සාක්ෂියක් බව පවසමින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සිය කෘතඥතාව ද පළ කළහ. වෘත්තීය මට්ටමේ හමුදාමය සහයෝගීතාව පුළුල් කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කර ඇත.














