මෙරට පාසල් පද්ධතිය තුළ බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ‘සුරකිමු ලංකා පාසල් බලශක්ති සුරක්ෂිත වැඩසටහන’ හෙට (09) දිවයිනේ සියලුම පාසල්වල ක්‍රියාත්මක කෙරේ.
බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීම, බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පාරිසරික තිරසරභාවය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් ද අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර, පළමු පාසල් වාරය අවසානයේ නිවාඩු ලබාදීමට ප්‍රථම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බව එහි සඳහන් වේ.
හෙට දිනයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික දුෂ්කරතා පවතින පාසල් වෙතොත්, ඒ සඳහා වෙනත් සුදුසු දිනයක් යොදා ගැනීමට විදුහල්පතිවරුන්ට සහ පාසල් ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.













