පාසල් උත්සව සහ විවිධ සැමරුම් සංවිධානය කිරීමේදී දෙමාපියන්ට අමතර මූල්‍ය බරක් පැටවෙන පරිදි සිදුකරන අධික වියදම් පාලනය කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. මීට පෙරද මෙවැනි උපදෙස් ලබා දී තිබුණද, ඇතැම් පාසල් තවමත් උත්සව සඳහා විශාල මුදලක් වැය කරන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත.
අමාත්‍යාංශය අවධාරණය කරන්නේ සියලුම පාසල් වැඩසටහන්වල ගුණාත්මකභාවය රැකෙන පරිදි, අනවශ්‍ය වියදම් අවම කරගනිමින් පිරිවැය ඵලදායී ලෙස ඒවා සංවිධානය කළ යුතු බවයි. විශේෂයෙන්ම 54/2023 චක්‍රලේඛය සහ පාසල් කළමනාකරණයට අදාළ අනෙකුත් මූල්‍ය රෙගුලාසි දැඩිව අනුගමනය කරමින් අරමුදල් භාවිතයේ විනිවිදභාවය සහ වගවීම තහවුරු කරන ලෙස දන්වා ඇත. උත්සවවල අධ්‍යාපනික සහ සංස්කෘතික වටිනාකම පවත්වා ගනිමින් දෙමාපියන් අපහසුතාවයට පත් නොවන ලෙස කටයුතු කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීමක් බව බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.














