රජයේ පාසල්වල සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන 2026 වසරේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සිසුවියන්ගේ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා විසිරී සිටින මිලියන 1.05කට ආසන්න සිසුවියන් පිරිසකට ප්රතිලාභ හිමිවන අතර, එක් සිසුවියකට වාර්ෂිකව රුපියල් 1,440ක වටිනාකමකින් යුතු තිළිණ පත් (Vouchers) හිමිවනු ඇත. රුපියල් 720 බැගින් වූ තිළිණ පත් දෙකක් ලෙස ලබාදෙන මෙම සහනය මගින් සිසුවියන්ට තමන් කැමති වෙළෙඳ නාමයකින් සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති අතර, මෙය මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන සුවිශේෂී සුබසාධන වැඩපිළිවෙළක් ලෙස සැලකේ. මෙමගින් ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද දැරියන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට රජයේ සෘජු දායකත්වය හිමිවේ.














