ශ්‍රී ලංකාවේ සියලුම පාසල් තුළ සිසුන්ට ශාරීරික දඬුවම් පැමිණවීම මෙන්ම ඕනෑම ආකාරයක කායික හෝ මානසික පීඩාවක් සිදු කිරීම සපුරා තහනම් කරමින් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
සිසුන්ට හානියක් නොවන පරිදි විනය පවත්වාගෙන යාම සඳහා ගුරුවරුන්ට සහ පාසල් පරිපාලකයින්ට වඩාත් පැහැදිලි මාර්ගෝපදේශ ලබා දීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් අධිකරණය විසින් මෑතකදී සිදු කළ නිරීක්ෂණවලින් පසුව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සියලුම අධ්‍යාපන බලධාරීන් වෙත නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය මඟින් අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ විනය හේතූන් මත හෝ වෙනත් කිසිදු කරුණක් පදනම් කරගෙන කිසිදු දරුවෙකු කායික හෝ මානසික දඬුවමකට යටත් නොකළ යුතු බවයි. පාසල් තුළ සිදුවන ශාරීරික දඬුවම් සම්බන්ධයෙන් මින් ඉදිරියට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද එහි සඳහන් වෙනවා.
මෙම නව නියෝගය මඟින් 2016 අප්‍රේල් 29 දින නිකුත් කරන ලද අංක 12/2016 දරන චක්‍රලේඛයද නැවත සිහිපත් කර ඇති අතර වැරදිකරුවන්ට එරෙහිව රජයේ නිලධාරීන් පාලනය වන ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ විනය ක්‍රියාමාර්ග ගත යුතු බවද පෙන්වා දී තිබෙනවා. සිසුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම සුරක්ෂිත කරමින් පවතින මාර්ගෝපදේශවලට අනුකූලව පාසල්වල විනය පවත්වාගෙන යාම සහතික කරන ලෙස සියලුම පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇති අතර මෙම නියෝගය දිවයිනේ සියලුම පාසල්වල ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමු කර තිබෙනවා.














