ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල කම්පනයන් හමුවේ දේශීය වෙළෙඳපොළ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඉන්දියාව මෑතකදී අනුගමනය කළ ඉන්ධන බදු ගැලපුම් ආකෘතිය (Fuel Tax Adjustment Model) කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ඉන්දියාව සිය සුරාබදු (Excise Duty) අඩු කරනු ලැබුවේ ක්ෂණිකව මිල පහත දැමීමට නොව, ගෝලීය තෙල් මිල ඉහළ යන අවස්ථාවන්හිදී දේශීය මිල ගණන් තවදුරටත් ඉහළ යාම වළක්වා වෙළෙඳපොළ ස්ථාවර කිරීමට බවයි. ශ්‍රී ලංකාව ඉදිරියට යාමේදී රජය සිය ආර්ථික ප්‍රතිපත්ති මීට වඩා ශක්තිමත් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මූල්‍ය විනය පවත්වා ගැනීම වැදගත් වුවද, ඉන්දියාවේ වර්ධනය ඉලක්ක කරගත් ප්‍රවේශය මෙන් අධික බදු බර අඩු කිරීම හරහා ආයෝජන දිරිමත් කිරීමටත්, ජනතාව මත ඇති පීඩනය ලිහිල් කිරීමටත් හැකි බව රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම ඉන්දියාව විසින් මෙරටට ලබාදුන් ටොන් 38,000ක ඉන්ධන තොගය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඉන්දීය ජනතාවට ඔහු සිය ස්තූතිය පළ කළේය. ඕනෑම අර්බුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් මුලින්ම ඉදිරිපත් වන්නේ ඉන්දියාව බවත්, එය ඔවුන්ගේ ‘අසල්වැසියාට ප්‍රමුඛතාව’ (Neighbourhood First) ප්‍රතිපත්තියේ සැබෑ නිරූපණයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කලාපීය රටවල් උපායමාර්ගික හවුල්කරුවන් ලෙස එක්ව කටයුතු කිරීම කලාපයේ අභිවෘද්ධියට හේතු වන බව ද මන්ත්‍රීවරයා සිය පණිවුඩය මඟින් පෙන්වා දී ඇත.













