වැඩිහිටි ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරැකෙන, ඔවුන්ට ගෞරවාන්විතව සහ ස්වාධීනව ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීම රජයේ මෙන්ම සමාජයේ ද වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. නවීන පහසුකම් සහිතව ඉදිකළ “සිල්ව(ර්) ඒජ් සෙන්ටර්” වැඩිහිටි සත්කාරක, පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (මාර්තු 31) මාර්ගගතව සම්බන්ධ වෙමින් ඇය මේ බව අවධාරණය කළාය.
2022 වසරේදී ආරම්භ කර විවිධ හේතු මත නතර වී තිබූ මෙම ව්‍යාපෘතිය වත්මන් රජය යටතේ කඩිනමින් අවසන් කර මෙලෙස ජනතා අයිතියට පත් කර ඇත. වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක, වයස අවුරුදු 60 යනු තවදුරටත් සමාජයට සහ ආර්ථිකයට දායක විය හැකි ක්‍රියාකාරී වයස් සීමාවක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. ඒ අනුව සාම්ප්‍රදායික “වැඩිහිටි නිවාස” යන සංකල්පයෙන් බැහැරව, ඔවුන්ගේ සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන සහ අධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලන ගෞරවාන්විත සේවා මධ්‍යස්ථාන ලෙස මේවා පවත්වාගෙන යාමේ වැදගත්කම ඇය පැහැදිලි කළාය.
මීට අමතරව, වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව විසින් සකස් කරන ලද “ආයතනගත රැකවරණය නියාමනය කිරීමේ මාර්ගෝපදේශ කෙටුම්පත” ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී. සෙත්සිරිපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති මෙම උත්සවය හරහා වැඩිහිටි ප්‍රජාවට ආරක්ෂිත සහ අයිතීන් සුරැකෙන සමාජයක් සහතික කිරීමේ රජයේ ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කෙරිණි.














