මැදින් පුර පසළොස්වක පොහොය යෙදුණු අද (02) දිනයේ ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් පැමිණීම හේතුවෙන් හැටන් – නල්ලතන්නිය මාර්ගයේ දැඩි මගී සහ වාහන තදබදයක් හටගෙන තිබේ. අතිපූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උඩමළුවේ විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වෙන අතරතුර, නල්ලතන්නිය රථගාල් සියල්ල පිරී යාම නිසා මස්කෙළිය දක්වා කිලෝමීටර් 6ක පමණ දුරක් මාර්ගය දෙපස වාහන ගාල් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. සීතගඟුල සිට උඩමළුව දක්වා පැය ගණනාවක් දිගු පෝලිම් පවතින බැවින් ඇතැම් වන්දනාකරුවන්ට සිරිපා පත්මය වැඳපුදා ගැනීමට නොහැකිව ආපසු හැරී යාමට පවා සිදුව ඇති බව නල්ලතන්නිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














