පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිටල් ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන 8ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබේ පසුගිය රජය සමයේ මෙම ආයතන විකිණීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය මේ බව සඳහන් කළාය අචල වෙංගප්පුලි මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බලන ලදී
රජයේ නීතිඥවරිය අධිකරණයට පවසා සිටියේ මෙම ආයතන විකිණීමේ ක්‍රියාවලිය වත්මන් රජය විසින් අත්හිටුවා ඇති බවයි ඒ වෙනුවට අදාළ සමාගම් ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පමණක් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ඇය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියාය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය නම් කර තිබුණි රජය සිය ස්ථාවරය දැනුම් දීමත් සමඟ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළේය රජයේ මෙම තීරණයත් සමඟ ලාභ ලබන ප්‍රධාන රාජ්‍ය ආයතන රජය යටතේම පවත්වාගෙන යාමට ඇති අවස්ථාව තහවුරු වී ඇති බව නීති විශාරදයෝ පවසති ආයතන ප්‍රතිසංවිධානය කිරීමේ නව කමිටුව මඟින් මෙම ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඉදිරියේදී පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ
















