අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණඩලයේ (අන්තරේ) හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා 2022 වසරේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) ඒකමතිකව තීන්දු කළේය. පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ප්‍රමාණවත් නීතිමය පදනමකින් තොරව සිදු කර ඇති බව අර්ජුන ඔබේසේකර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ නිගමනය විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(1) වගන්ති මගින් තහවුරු කර ඇති අයිතිවාසිකම් මෙහිදී උල්ලංඝනය වී ඇති බව අධිකරණය පෙන්වා දුන්නේය.
2022 අගෝස්තු 18 වන දින ලිප්ටන් වටරවුමේ සිට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකින් පසු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට තරම් “සාධාරණ සැකයක්” ඇති කිරීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බව විනිසුරු සෝභිත රාජකරුණා මහතා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය. විශේෂයෙන්ම පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.ජී.ඒ.කේ. ගමගේ මහතා මෙම නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමට සෘජුවම වගකිව යුතු බව අධිකරණය අවධාරණය කළේය.
නීතිඥ මංජුල බාලසූරිය මහතා හරහා ගොනු කර තිබූ මෙම පෙත්සම මගින් පෙන්වා දී තිබුණේ, සාමාන්‍ය අපරාධ නීතිය මෙන්ම 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන පවා උල්ලංඝනය කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි. ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද රඳවා තබා ගැනීමේ නියෝගය අදාළ නොවන කරුණු මත පදනම් වූවක් බවත්, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුට එරෙහිව PTA පනත භාවිතා කිරීම අසාධාරණ බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තනුක නන්දසිරි මහතා තර්ක කළේය. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් වැදගත් නීතිමය පූර්වාදර්ශයක් වනු ඇතැයි නීති ප්‍රජාව පවසති.














