ඉහළ දැමූ ඉන්ධන මිල සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට සමස්ත තේ කර්මාන්තයම බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සමන් ගීගනගේ මහතා අනාවරණය කරයි. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අමු තේ දලු ප්‍රවාහන පිරිවැය ඉහළ යාම නිසා, ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි අමු තේ දලු කිලෝවක මිලෙන් රුපියල් 5 බැගින් අඩු කිරීමට තේ කර්මාන්තශාලා හිමියන් සහ ප්‍රවාහනකරුවන් පියවර ගෙන තිබේ.
පහතරට අමු තේ දලු කිලෝවක් රුපියල් 180-200ත්, මැදරට රුපියල් 150-180ත් සහ උඩරට රුපියල් 150-160ත් අතර මිලකට මේ වන විට මිලදී ගනු ලබන අතර, ඉන්ධන ගාස්තු වෙනුවෙන් ඉන් රුපියල් 5ක් අඩු කිරීම ගොවියාට දරාගත නොහැකි බරක් වී ඇත. මීට අමතරව මැදපෙරදිග යුද්ධය නිසා ඉරානය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවලට අපනයනය කිරීමට සූදානම් කර තිබූ නිමි තේ කිලෝග්‍රෑම් 128,000ක අලෙවිය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. පිරිවැය ඉහළ යාම සහ අපනයන වෙළඳපොළ අහිමි වීම නිසා කුඩා තේ ගොවීන් වගාවෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් මතුව ඇති අතර, මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා රජය වහාම මැදිහත් වී සහන සැලසීම හෝ විකල්ප වෙළඳපොළවල් සොයා දීම අත්‍යවශ්‍ය බව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.















